Search

ජීවිතය පුදුමාකාරය. ඉමුලීසා තවමත් බලා සිටී.

 

ඒ 1994 වර්ෂයේ අප්‍රේල් මාසයයි. සුපුරුදු පරිදි අම්මා සමග උදෑසනම පාසල වෙත පිය නගන හය හැවිරිදි ඉමුලීසා ගේ මේ ගෙවෙන්නේ සිය ජීවිතයේ පළමුවන පාසල් වාරයයි. ආර්ථික අපහසුකම් වලින් පිරුණු කාලයක් වුවත් ඉමුලීසාගේ දෙමව්පියන් කෙසේ හෝ අදිටන් කර ගෙන ඇත්තේ හොඳ අධ්‍යාපනයක් ඉමුලීසා හට ලබා දීමටය. ඒ නිසාම ඉමුලීසා රුවන්ඩාවේ මුරාම්බි නගරයේ ජාතික මිශ්‍ර පාසල වෙත ඇතුල් කලේ මහත් බලාපොරොත්තු ඇතුවය. පාසල් දොරටුව අභියසදී තමාව ගුරුතුමියට භාර දී නික්ම අම්මා දෙස තවත් වරක් දෙනෙත් යොමු කල පුංචි ඉමුලීසා සම වයසේ යහළු යෙහෙලියන් සමග ක්‍රීඩා පිට්ටනිය වෙත පියමන් කලේ පාසල පටන් ගැනීමට පෙර තව ටික කාලයක් හෝ කෙලි දෙලින් ගත කිරීමටය.

 

මේ රුවන්ඩාවේ දුෂ්කරම කාලයයි. 1994 වර්ෂයේ රුවන්ඩාවේ ජනගහනය මිලියන් 7ක පමණ විය. එයින් 85%ක් පමණ හුතු ජාතිකයින්ගෙන්, 14%ක තුත්සි ජාතිකයින්ගෙන් සහ 1%ක ත්වා ජාතිකයින්ගෙන්ද සමන්විත විය. 1992 වර්ෂය වනවිට හුතු අන්තවාදීන් යයි සැලකෙන පුද්ගලයන් විසින් රුවන්ඩාවේ පැන නැගෙමින් පැවතුනු සමාජ ආර්ථික සහ දේශපාලන බලපෑම් වලට තුත්සීන් සම්බන්ධ යයි චෝදනා එල්ල කල අතර එසේම තුත්සීන් විසින් ආරම්භ කරන ලද රුවන්ඩා දේශප්‍රේමී පෙරමුන පිළිබඳවද හුතු ජාතිකයින් තම අප්‍රසාදය පළකර තිබුණි. එවකට රුවන්ඩාවේ ජනාධිපති ධුරය දැරූ හුතු ජාතික හබ්යරිමානා ගේ ක්‍රියා කලාපය නිසා හුතු සහ තුත්සි වරුන් අතර පරතරය තව දුරටත් වර්ධනය විය. 1994 අප්‍රේල් මස 4 වැනිදා රුවන්ඩාවට කළු අප්‍රේල් මාසය උදා විය. එදින ජනාධිපති හබ්යරිමානා රැගත් ගුවන් යානය හදිසි වෙඩි පහරවල් වලට ලක්වී බිම පතිත විය. කැරලි කෝලාහල වල ආරම්භය එය විය. යුද්දයේ නාමයෙන් තුත්සි ජාතිකයින් ජන සංහාරයකට ලක් කිරීම සඳහා ක්‍රියාදාමය එසේ ඇරඹිනි.

 

රුවන්ඩාවේ දේශප්‍රේමී පෙරමුණේ ක්‍රියාශීලී සාමාජිකයෙකු වන ඉමුලීසාගේ පියා තුත්සි ජාතිකයෙක් වන අතර ඔහු මුරාම්බි නගරයේ බස් රථ රියදුරෙකි. ඔහුද සුපුරුදු පරිදි රැකියාවට පිටත් වුයේ තවත් දවසක මහත් බලාපොරොත්තු ඇතුවය.

ඝාතනය කරනවා යයි ආරංචිය ලද විගසම ඉමුලීසාගේ පාසලේ විදුහල්පතිනී දරු දැරියන් නිවෙස් බලා යැවීමට අවසර දුන්නත් ගතවූ නිමේෂණයකින් මුරාම්බි නගරයේ රංචු ගැසී ආයුධ සන්නද්ධව නගරය පුරා ලේ පිපාසයෙන් දිව ගිය හුතු ජාතිකයින් ඉමුලීසා ගේ පාසලට කඩා වැදුනේ බලාපොරොත්තු නොවූ අවස්ථාවකදීය.

 

පාසලේ දරු දැරියන් 800ක ගෙන් තුත්සි දරුවන් තෝරා බේරා ගන්නට ඝාතකයින් හට වැඩි වෙලාවක් ගත නොවිණි. යකඩ මන්නා වලින් පාසැල් සිසුන්ට පහර දුන් මිනී මරුවන් හඳුනාගත් තුත්සි ජාතික දරුවන් 300ක් පමණ එම ස්ථානයේදීම අමු අමුවේ අමානුෂික ලෙස ඝාතනය කළහ.

 

සිදුවන්නේ කුමක්දැයි වටහා ගන්න තරම් අවබෝධ නොවූ ඉමුලීසා පාසල පසුපස ඇති කැලෑවට පැන දිව්වේ තම පන බේරා ගන්නටය. තුත්සි ජාතිකයින් සොයා සොයා ගොස් ඝාතනය කල හුතු මිනීමරුවන් හට ඉමුලීසාගේ පියා මුණගැසුනේ හුතු ජාතිකයින් රජයේ හමුදා සමග ක්ෂණිකව ඇතිකළ මාර්ග බාධකයකදීය. බස් රථයත් සමගම ඉමුලීසාගේ පියා දැවී අළුවී ගියේ තවත් විශාල තුත්සි ජාතික පිරිසක්ද සමගය.

ජායාරුප අනුග්‍රහය - www.teachwithmovies.org

 

පැය තුනකටත් අධික කාලයක් කැලෑව තුල සැඟවී සිටි ඉමුලීසා පැවැති නිශ්ශබ්දතාවය නිසා සෙමින් සෙමින් කැලෑවෙන් එලියට විත් පාසල වෙත පිය නැගුවාය. ජීවිතයේ කිසිම දවසක් නොදුටු මේ දර්ශනයෙන් තැති ගත් ඉමුලීසා පාසල් භූමියෙන් නැවත වාරයක් කැලෑවට වැදුනේ කර කියා ගත හැකි දෙයක් නොතිබූ නිසාවෙනි. මුළු පාසල් භූමියම එකම ලේ විලකි. බැලු බැලු ඇත දිස්වන්නේ කැපු කෙටූ තුවාල සහිත මියගිය හෝ පන අදිමින් සිටින පාසැල් දරු දැරියන්ය. මේ ඇගේ යහළු යෙහෙලියන්ද යන්න පවා අඳුනා ගැනීමට ඇයට නොහැකිය. මීට පැය කිහිපයකට පෙර සතුටින් සෙල්ලම් කරමින් සිටි ඔවුනට මේ සිදුවී ඇත්තේ කුමක්ද ? ඉමුලීසාගේ පුංචි මොලයට තවමත් කිසිම දෙයක් තේරුම් ගත නොහැකිය.

 

තව දුරටත් කැලෑවේ සැඟවී සිටි ඉමුලීසා හට අම්මා තවමත් නොපැමිණෙන්නේ ඇයිදැයි කියා අසන්නටවත් කෙනෙක් ළඟ නැත. සෑහෙන වෙලාවකින් පසු කැලෑවෙන් එලියට පැමිණි ඉමුලීසා පාර දිගේ කුසගින්නෙන් සහ සීතලෙන් වෙව්ලමින් ඉදිරියට ඇවිද ගෙන ගියේ කවුරුන්හෝ හමුවේ යයි බලාපොරොත්තුවෙනි.

ජායාරුප අනුග්‍රහය - www.teachwithmovies.org

 

විශාල සෙනග කන්දරාවක් ලොරියක නැගී යන අයුරු ඇය ඉදිරියේ දිස් වුයේ නිමේෂණයකි. අධික කුසගින්නත් සීතලත් නිසා අඩපනව සිටි ඉමුලීසාට තව දුරටත් පය ඔසවා ඉදිරියට ගමන් කිරීමට ශක්තියක් තිබුනේ නැත. ඇයට මතක කවුදෝ කෙනෙක් ඇයව ඔසවා ලොරියේ සෙනග අතර තබනවා පමණය.

 

රුවන්ඩාවේ සිට බුරුන්ඩි රාජ්‍යය දක්වා පලා යන තුත්සි වරුන් පිරිසක් විසින් ඇයව මෙසේ බේරා ගත්තේය. ඉමුලීසාගේ ජීවිතයේ මීළඟ පරිජ්චේදය ආරම්භ වන්නේ මෙතැන් සිටය. ඉමුලීසාගේ වාසනාවකට (හෝ අවාසනාවකට) ඇයගේ භාරකාරත්වය හිමිකරගනු ලැබුවේ මරණය හිමි නොවී රුවන්ඩාවෙන් පලා යන තුත්සි ජාතිකයෙකු වූ ජෙනාඩ් ටය.

 

රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණේ රහස් සාමාජිකයෙකු ලෙස ක්‍රියා කල ජෙනාඩ් රුවන්ඩාවෙන් පැනවිත් කෙසේ හෝ බුරුන්ඩි දේශයේ තම ජීවිතය ගැට ගසා ගන්නට සමත් විය. නමුත් සැබවින්ම ජෙනාඩ් ඉතා දරුණු එමෙන්ම කෘර පුද්ගලයෙකු විය. ආර්ථික දුෂ්කරතාවයන් වලින් පෙළුණු ජෙනාඩ් ගේ ජීවිතයට කිසියම්හෝ නව ජීවයක් ලබා දෙන්නට පුංචි ඉමුලීසා සමත්වුවත් එම කාලය ඉතා සීමා සහිත විය. වැඩිවියට පත් ඉමුලීසා හට පාසල් ජීවිතයත් තිත්ත වුයේ ජෙනාඩ් ගෙන් ලැබුණු තාඩන පීඩන සහ සැහැසිකම් නිසාය. පාසැල් ජීවිතය අතරමග නතරකර දැමු ඉමුලීසා ජීවත්වීම සඳහා තමන් විසු ගම්මානයේ දිනපතා වෙළඳ පොලේ එළවලු විකිණීම ආරම්භ කලාය. මේ දරුණු ජීවිතයෙන් ගොඩ ඒම සඳහා එකම පිළිතුර වන්නේ උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම යන්න බව ඇයගේ සිතේ තිබුනත් එය සපල කර ගැනීම සඳහා කිසිම අවකාශයක් ඇයට නොලැබිණි.

 

පෝල් කගාමා රුවන්ඩාවේ නායකත්වයට පත්වන්නේ 2000 වසරේදීය. 1994 රුවන්ඩා ජන සංහාරයෙන් පසු දරිද්‍රතාවයේ අන්ත අසරණ තත්වයට වැටුණු රුවන්ඩාවට නව පණක් ලැබෙන්නේ කගාමා බලයට පත්වූ පසුවය. මේ ආරංචිය බුරුන්ඩි දක්වා පැතිර යන්නේ ආසන්න රටවල 1994 වර්ෂයේදී පලා ගිය තුත්සි ජාතිකයින් හට ප්‍රීතිමත් ආරංචියක්‌ හැටියටය. තුත්සි ජාතිකයෙක් වූ පෝල් කගාමා වර්ෂ කිහිපයක් තුලදී ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම සඳහා ගත් නොයෙකුත් රාජ්‍ය තාන්ත්‍රික සහ දේශීය ක්‍රියා මාර්ගයන් වල ප්‍රතිපලයක් වශයෙන් රුවන්ඩාව හැර ගිය තුත්සි ජාතීන් ප්‍රමුඛ ජනතාව හට නැවත ගම බිම් බලා පැමිණෙන්නට අවස්තාවක් ලැබුණි.

 

1994 ජන සංහාරයෙන් පීඩනය පත්වූ පුද්ගලයන්ගේ ප්‍රශ්න සහ දුක්ගැනවිලි සලකා බැලීමේ ක්‍රියාදාමයක් පෝල් කගාමා ආරම්භ කලේ මේ අවධියේය. එහෙත් ඉමුලීසාගේ තත්වය තවත් බරපතල විය. තමා හදා වඩා ගත් ජෙනාඩ් ගේ සැහැසිකම් මධ්‍යයේ නැවත වාරයක් රුවන්ඩාවට යාමට ඇය තීරණය කලත් ජෙනාඩ් ගේ ලිඛිත අවසරය නොමැතිව රුවන්ඩාවට යාමට ඇයට නොහැකිය. බුරුන්ඩි පොලීසියටද ඇය මේ සම්බන්ධයෙන් පැමිණිලි කලත් ජෙනාඩ් ගේ බලපෑම් හමුවේ එයත් ප්‍රතිපල රහිත විය. අවසානයේදී ඇය තීරණය කරන්නේ බුරුන්ඩි රාජ්‍යයෙන් පලා යාමටය.

 

ජායාරුප අනුග්‍රහය - www.msf.org.za

2008 වසරේ ජුනි මාසයේ එක් දිනක රාත්‍රී කාලයේ ඇය සිය බුරුන්ඩි නිවසින් පලායන්නේ බුරුන්ඩි-රුවන්ඩා දේශ සීමාව හරහා කිගාලි නගරය වෙත යාමටය. ඇයගේ වෑයම සාර්ථක වුවාය. බුරුන්ඩි සිට නැවත ගම් බලා යන සරණාගතයින් කණ්ඩායමකට එකතු වූ ඉමුලීසා රුවන්ඩාවෙන් පලා ගොස් වසර 14කට පසු නැවත තම රට බලා පැමිණෙන්නේ ඉමහත් බලාපොරොත්තු රැසක් හිස මත තබා ගෙනය.

2015 වසරේ ජනවාරි මාසයේදී මට ඉමුලීසා හමුවන්නේ අහම්බෙනි. මගේ රුවන්ඩා සංචාරයේ සංවිධාන කටයුතු කල බරකා නමැති කාන්තාවගේ ආයතනයේ සහාය සේවිකාවක් වශයන් කටයුතු කරන ඉමුලීසා මාගේ සංචාරය වෙනුවෙන් කිහිප වතාවක්ම දුරකතනයෙන් මා සමග කථා බහ කළේය. එහිදී මා නැගු ප්‍රශ්න වලට නොපැකිලව පිළිතුරු දුන් ඉමුලීසා මා වෙනුවෙන් රුවන්ඩා දේශීය කෑම බීම ඇතුලත් විශේෂ භෝජන සංග්‍රහයක්ද සංවිධානය කලාය.

 

දෙනෙතින් වැගිරෙන කඳුළු මධ්‍යයේ ඇය මේ කතාව මා සමග පැවසුයේ කිසිවක් බලාපොරොත්තුව නොවේ. කිගාලි නුවර මධ්‍යම වෙළඳ පොලට මා සමග ගිය ඉමුලීසා රුවන්ඩාවට ආවේනික එළවලු, පලතුරු සහ කෑම බීම වර්ග පිළිබඳව විස්තර පැහැදිලි කලා මෙන්ම එහි වැඩ කරන සාමාන්‍ය කාන්තාවන්ටද මා සමග අදහස් බෙදා හදා ගන්න අවස්ථාවක් ලබා දුනි. ඇය එයින් අදහස් කලේ ඇය බුරුන්ඩි රටේ ගතකල දුෂ්කර ජීවිතය ගැන යම් හෝ වැටහීමක් මට ලබා දීමට විය යුතු යයි මා සිතමි.

 

1994 රුවන්ඩා ජන සංහාරයෙන් අනාථව සහ අදටත් රුවන්ඩාහි මං මාවත් වල ජීවත් වන ජනතාවන් සහ ඔවුන්ගේ දු දරුවන් උදෙසා වැඩිහිටි නිවාසයක් හෝ අනාථ නිවාසයක් ඇරඹීම ඇයගේ දැන් පරමාර්ථයයි. ඒ සඳහා රුවන්ඩා රජයේ සහ අනිකුත් රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය ඇයට ලැබෙනු ඇතැයි ප්‍රබල විශ්වාසයක් ඇය තුල පවතී. ඒ අවස්ථාව හැකි ඉක්මනින් ඇයට ලැබේවා යයි මා හද පත්ලින් ප්‍රාර්ථනා කරමි.

 

සෑම සති අන්තයකම කිගාලි කතෝලික දේවස්ථානය වෙත පිය නගන ඉමුලීසා ඉල්ලා සිටින්නේ ඇයගේ මව සොයා දෙන ලෙසටය. ඇයගේ මවට සිදුවූ දෙයක් අද වෙන තෙක් ඇයට දැන ගන්නට නැත. ඇය මියගියාදැයි හෝ ජීවතුන් අතර සිටීදැයි නොදනී. එහෙත් ඉමුලීසා තව දුරටත් බලා සිටින්නේ කවදා හෝ ඇය මුණ ගැසීමටය. ඇය පැමිණ අමතන තුරු ඉමුලීසා තවමත් බලා සිටින්නීය.

 

(සත්‍ය තොරතුරු මත පදනම් වී ඇත.)

 

 

 

 

236 views